Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නව ශ්‍රී ලංකා වාර්තා 3 ක්
ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය

නව ශ්‍රී ලංකා වාර්තා 3 ක්

editorial - 2022 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මහ වැසි ඇද හැලීමෙන් අද (10) අතරමග අත්හිටුවීමට සිදුවූ 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා තුනක් හා තවත් තරග වාර්තාවක් පිහිටුවනු ලැබිණ. මෙම තරගාවලිය දියගම මහින්ද රාජපක්‍ෂ පිටියේදී පැවැත්විණ. 

මේ අතර ලාබාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් නව ජාතික කනිෂ්ඨ තරග වාර්තා දෙකක්ද බිහිවීම කැපී පෙනුනි. 

මෙම නව ජාතික වාර්තා හා නව කනිෂ්ඨ වාර්තා තරගාවලිය පැවැති දෙවනි දිනය (9 වැනිදා) තුළදී පමණක් වාර්තා විය. 

වර්ෂාව දැඩි ලෙස පතිතවීමත් සමඟ අද (10 වැනිදා) දහවල් තරගාවලිය අත්හිටුවීමට තීරණය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අද අත්හිටවූ තැනේ සිට ඉතිරි තරග ඉසව් මෙම 23 වැනිදා මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට තීරණය කළේය. 

රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන් යුද හමුදා ක්‍රීඩිකා කෞෂල්‍යා පෙරේරා මාසයක් ඉක්මයාමට මත්තෙන් ඇය සතුවම තිබූ ජාතික වාර්තාව බිඳ දැමීමට සමත් වූයේ මීටර් 3.71ක දක්‍ෂතාවයක් පළ කරමිනි. ඇය පසුගිය මාර්තු 11 වැනිදා දියගමදී එහි නව ශ්‍රී ලංකා වාර්තාව මීටර 3.70කට පිහිටවූවාය. මෙවර ඇගේ දක්‍ෂතාව සෙන්ටිමීටරයකින් ඉහළ ගොස් තිබේ.

මේ අතර මීටර 3000 බාධක දිවීම (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට 2018 සිට හිමි කම් කියන නිලානි රත්නායක සෙනසුරාදා එහි ඉහළම දක්‍ෂතා අතරට පැමිණෙමින් නැවතත් ශ්‍රී ලංකා වාර්තාව එහි අළුත් කළේ විනාඩි 9 තත්ත්පර 40.24කටය. 
එහි පැරණි වාර්තාව විනාඩි 9 තත්ත්පර 46.76 කි. 

ගයන්තිකා අබේරත්න විනාඩි 2 තත්ත්පර 01.44 කට සෙසු ශ්‍රී ලංකා නව වාර්තාව පිහිටුවූයේ මීටර 800 (කාන්තා) ඉසව්වෙනි. මෙහි තවත් ප්‍රකට ජාතික ශූරියක් වන ඩිල්ෂි කුමාරසිංහ හරියටම මීට වසරකට පෙර (2021-4-09) විනාඩි 2 තත්ත්පර 02.52 කට පිහිටුවා තිබූ මීටර 800 (කාන්තා) ඉසව්වේ එතෙක් පැවැති ශ්‍රීලංකා වාර්තාව ඒ සමග බිඳ වැටුණි.

වසර 2019 ‘කත්මන්ඩු’ සාග් ක්‍රීඩා උළෙලේදී ඔවුන්ගේ අවසන් ජාත්‍යන්තර තරග සහභාගිත්වයේදී මෙම ඉසව්වේ රන් පදක්කම ඩිල්ෂි කුමාරසිංහ (විනාඩි 2 තත්ත්පර 06.18) විසින්ද රිදී පදක්කම ගයන්තිකා අබේරත්න (විනාඩි 2 තත්ත්පර 08.52) විසින්ද හිමිකර ගන්නා ලදී.

දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වා නව තරග වාර්තාවට හිමිකම් කීවේ මීටර 6.52 නව උස පැනීම (කාන්තා) ඉසව්ව ජය ගනිමිනි. ඒ ඇය විසින්ම මීටර 6.48 කට (2021) පිහිටුවා තිබූ එහි තරග වාර්තාව බිඳ දමමිනි. මෙහි ශ්‍රීලංකා වාර්තාව ඇය සතුවන්නේ මීටර 6.95 කටය. 

නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවූ මෙම ක්‍රීඩිකාවන් සියලු දෙනාම මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලට පහසුවෙන් නිර්දේශ ලබා ගනු ඇතැයි මලල ක්‍රීඩා තේරීම් කමිටුව පවසයි.

මීටර 800 (කාන්තා) ඉසව්වේ තෙවනි ස්ථානයට පත් (විනාඩි 2 තත්ත්පර 04 . 40) තරුෂි දියාරා කරුණාරත්න එහි ජතික කනිෂ්ඨ නව වාර්තාවට හිමිකම් කීවාය. ඇය වලල රත්නායක මැදි විදුහලේ සිසුවියක් වන අතර මීටර 800 හා මීටර 400 යන කාන්තා ඉසව් දෙකෙන්ම කොළොම්බියාවේදී අගෝස්තු මාසයේදී පැවත්වෙන ලෝක කනිෂ්ඨ ශූරතා තරගාවලියට නිර්දේශ ලබා සිටින්නියකි.

මේ අතර මීටර 400- කඩුලු පැන දිවීම (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්ත්පර 00.23) මෙම ජාතික තරගාවලියේදී සතු කර ගත් මහනුවර උසස් බාලිකා විදුහලේ අමේෂා හෙට්ටිආරච්චි ඒ සමගම එහි ජාතික කනිෂ්ඨ වාර්තාවද තමන් සතුකර ගැනීමට සමත් වූවාය. මෙම ක්‍රීඩිකාවද මීට පෙරම එළඹෙන ලෝක කනිෂ්ඨ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබා සිටින ක්‍රීඩිකාවකි.

මීටර 800 (කාන්තා) ඉසව්වේ ඩිල්ෂි කුමාරසිංහ සතුව 2018 ආසියානු කනිෂ්ඨ ශූරතා තරගාවලියේදී පිහිටුවා තිබූ (විනාඩි 02 තත්පර 04.84) පැරණි ශ්‍රී ලංකා වාර්තාව පෙරේදා (9) තරුෂි බිඳ දැමීමට සමත්වීමත් සමඟ ඇය ආසියාවේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකටත් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අංක හතරටත් පැමිණීමට සමත් වූ බව ඇගේ පෞද්ගලික පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ශත සංවත්සර ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අතරමග අත්හිටුවන විට ඊයේ දහවල් වන තෙක් පැවති තරග ඉසව්වලදී කැපී පෙනුනුම සිදුවීම වන්නේ එතෙක් වාර්තා වූ සියලු නව ශ්‍රී ලංකා වාර්තා ජාතික කනිෂ්ඨ වාර්තා හා තරග වාර්තා ක්‍රීඩිකාවන් වෙතින් පමණක් වාර්තා වී තිබීමයි.

මීටර 800 (කාන්තා) ඉසව්වේ අළුත්ම ශ්‍රී ලංකා වාර්තාලාභිණිය ගයන්තිකා අබේරත්න.

මීටර 3000- බාධක (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාලාභිණිය නිලානි රත්නායක.

දුර පැනීම (කාන්තා) නව තරග වාර්තාව සාරංගි සිල්වා යළිත් අළුත් කළාය.


අදහස් (0)

නව ශ්‍රී ලංකා වාර්තා 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.